Monday, June 16, 2014

සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137 – 119)


දුටුගැමුණු රජුට පසු ඔහුගේ බාල සොහොයුරු සද්ධාතිස්ස කුමරු රජකමට පත් විය. දුටුගැමුණු රජුට නිම කල නොහැකි වූ රුවන්වැලි දාගැබේ ඉතිරි වැඩ සද්ධාතිස්ස රජු විසින් කරවන ලද බවත් එයට අමතරව දක්ඛිණගිරි, දීඝවාපි ආදී වු විහාර කිහිපයක්ද මෙතුමා විසින් කරවන ලද බවත් වංශකතාවේ සඳහන් වේ. මෙතුමා විසින් පදවිය, කටුන්ගරු, මාගඑ ආදී වැවු දොලහක් කර වී යැයි පූජාවලිය කියයි.

දුට්ඨ ගාමිණී අභය රජු (දුටුගැමුණු රජු)(ක්‍රි.පූ.161 - 137)



කාවන්තිස්ස රජුගේ ඇවැමෙන් පසු දුටුගැමුණු රජු රාජ්‍යත්වයට පත්විය. කාවන්තිස්ස රජු මිය යන විට දුටුගැමුණු කුමරු සිටි බව කියන්නේ මලය රටේ කොත්මලේ ප්‍රදේශයේය. මොහුට එම ප්‍රදේශයට යාමට සිදු වූයේ අනුරාධපුරයේ රජ කල එළාර රජු සමඟ සටන් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ මතභේද නිසාය. ඒ කාලයේ රුහුණු දිගා වැව ප්‍රදේශයේ විසු සද්ධාතිස්ස කුමරු එනම් ගැමුණු කුමරුගේ බාල සොහොයුරා, කාවන්තිස්ස රජුගේ අභාවය හා සමඟ මාගමට අවුත් රාජ්‍ය පැහැර ගැනීම නිසා මාගම රාජ්‍ය නිත්‍යානුකූලව පත් වීමට පෙර ගැමුණු කුමරුට සිංහාසනය ලබා ගැනීම සඳහා තම සොහොයුරු සමඟ සටන් කරන්නට සිදු විය. එහෙත් සංඝයා වහන්සේලා එම සටන ව්‍යාර්ත කරමින් සමාදාන කලහ. පසුව සද්ධාතිස්ස කුමරුට දිගා වැව ප්‍රදේශයේ පාලන බලය හිමිවිය. පසුව දුටුගැමුණු රජතුමා අනුරාධපුරය ආක්‍රමණය කිරීමට සැරසුනහ. අනුරාධපුරයට ගිය ස්ථාන කිහිපයකම ස‍ටන් පැවතුන අතර එම සටන් වලින් ජය ලැබූහ. පසුව විජිතපුර නම් බලකොටුවට ඇතුල් වූ බවත් එම බලකොටුව ජය ගැනීම සඳහා මාස 4 ක පමණ කාලයක් සටන් කරන්නට සිදුවිය. පසුව අවසන් සටන අනුරාධපුර නගරයේ දකුණු දොරටුව ඉදිරිපිට රජවරුන් දෙදෙනා මුහුනට මුහුන සටන් කර ඇති අතර පසුව එළාර රජු මරණයට පත් වී ඇත.

සටනේ දී මිය ගිය එලාර රජුගේ දේහය ආදාහනය කරවා එතැන සොහොන් ගෙයක් සාදවා එළාර රජුට ගෞරව දක්වා මතු දවස එතැනින් යන්නවුන් තූර්ය භාණ්ඩ වාදනය කිරිමෙන් හා ඇතුන්, අසුන් පිට යාමෙන් වැළකිය යුතු බවට නියෝගයක් පැනවීය. එසේම එළාර රජුගේ සෙන්පතියාගේ උපදෙස් මත කරන ලද ආධාර ඉල්ලීම මත සොලී අමුදාවක් පැමිණියහ. එම අවස්ථාවේ දී ද ඉතා දරුණු සටනකින් පසු දුටුගැමුණු රජු සටනින් ජය ගත්තේය.

කාවන්තිස්ස රජතුමා(ක්‍රි .පූ. 209 - 164)



ගෝඨාභය රජු මිය යාමෙන් පසු මාගම රාජ්‍යත්වයට පත් වුයේ ඔහුගේ පුත් කාකවණ්ණතිස්ස හෙවත් කාවන්තිස්ස කුමරුය. එලාර රජු අනුරාධපුරය ආක්‍රමණය කරණු ලැබූ බව කියන්නේ කාවන්තිස්ස රජු රාජ්‍යයට පත්වී අවුරුද්දකට පමණ පසුවය. රුහුණු රටට අයත්ව පැවති යොම නුවර, සේරු නුවර, ලෝන නුවර යන ප්‍රදේශ තුන පිළිවලින් අභය, සිව හා මහා නාග යන ප්‍රාදේශීය පාලකයන් තිදෙනෙකු යටතේ පාලනය වූ බව ධාතුවංශයෙන් හෙලි වේ. ගෝඨාභය රජුගේ කාලයේ පටන්ම රුහුණ මුලුමුනින්ම පාහේ එක්සත්ව පැවතියද තම රාජ්‍යයට විරුද්ධව අනුරාධපුර එලාර රජුගෙන් එල්ලවිය හැකිව තිබූ තර්ජන පිළිබඳ කාවස්තිස්ස රජු මුලසිටම අවධානය යොමු කොට සිටි බව එවැනි තර්ජන ඇතිවුවහොත් එයට මුහුනදීම සඳහා රජු විසින් ආරක්ෂක විදිවිධාන සලසනු ලැබූ ආකාරය වංශකතාවල විස්තර කර ඇත. මහා වංශයේ සඳහන් වී ඇති පරිදි රජු මුලින්ම කලේ තමාගේ යුද හමුදාව තර කිරීම හා රුහුනේ දේශ සිමාව යුද හමුදාව ලවා ආරක්ෂා කිරීමයි. රජුගේ බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරු බල වාහන සහිතව දිගා වැව ප්‍රදේශයේ ආරක්ෂාව සැපයීම සඳහා යවන ලද බවත් රජුගේ වෙනත් භිසවකගේ පුත්‍රයකු වූ දීඝභය නම් කුමරුකු මාගමේ කසාතොට රැකවලේ යෙදු බවත් වංශකතාවල සඳහන් වේ.

එළාර රජුගෙන් ආක්‍රමණයක් එල්ල වී යුද්ධයක් ඇති වුවහොත් යුද්ධ කාලයේ දී ආහාර හිගය ඇතිවීම වැලැක්වීම සඳහා රජු ඊලඟට කලේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමයි. තමාගේ මරණයෙන් පසු තම සිංහාසනය සඳහා පුතුන් දෙදෙනා අතර සටන් ඇතිවීම වැලැක් වීම සඳහා සහ එම අවස්ථා මුල් කරගෙන එළාර රජු ආක්‍රමණය කිරීම වැලැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා හා හමුදාව ඉදිරියේ පුතුන් දෙදෙනා පොරොන්දු කරවීය. එහෙත් එය ඒ ආකාරයෙන් සිදු නොවීය. දුටුගැමුණු කුමාරයාට නම් තබන අවස්ථාවේදී රජතුමා විසින් එළාර රජු පලවා හැර රට එක්සත් කිරීමේ කාර්යභාරය තම වැඩිමහල් පුතු විසින් සිදුවේ යැයි ප්‍රාර්ථනාවක් කළ බව මහාවංශයේ සඳහන් වේ.

දේවානම් පියතිස්ස රාජ්‍ය සමයෙන් පසු යුගය



දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙන් පසුව අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වන්නේ එතුමාගේ බාල සොහෙයුරෙකු වු උත්තිය කුමරුය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 10ක් බවත් අටවන ආජ්‍ය වර්ෂයේ දී මිහිදු මහ රහතන් වහන්සේ අපවත් වූ බවත් මහා වංශය පැහැදිලි කරයි. මිහිදු මහ රහතන් වහන්සේගේ නෂ්ඨාවශේෂ චේතිය ගිරිය හා රාක්ෂගල තැන්පත් කර ඇත. ඉන් පසු අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වූයේ බාලම සොයුරා වු මහා ශිව සුරතිස්ස රජතුමාය. සුරතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ සිදුවු වැදගත් සිදුවීමක් වන්නේ ශ්‍රී ලංකාවට මුල්ම දකුණු ඉන්දියානු ආක්‍රමණය ඇති වීමයි. එය සේන ගුත්තික නම් වෙළඳ දෙබැයන් අශ්ව වෙළදාම සඳහා පැමිණ ඇති බව මහා වංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පාලන බලය අල්ලා ගන්නා මෙම වෙළදුන් වසර 22 ක කාල පරිච්ඡේදයක් ශ්‍රී ලංකාව පාලනය කර ඇත. 

දේවානම් පියතිස්ස රාජ්‍ය සමය (ක්‍රි .පූ. 230 – 210)



දේවානම්පියතිස්ස රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඓතිහාසික වශයෙන් වැදගත් කාල පරිච්ජේදයක් ලෙසින් හැදින්විය හැකිය. එතුමාගේ රාජ්‍ය සමය දේශපාලනික, ආර්ථික ආගමික, සංස්කෘතික ආදී සෑම අංශයකින්ම ප්‍රබල වෙනස්කම් සිදුවු කාලපරිච්ජේදයක් ලෙසට පෙන්වා දිය හැකි අතර එම වෙනස් වීම් පසුකාලීන ඉතිහාසය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන්නට ඉවහල් වූ බව පැහැදිලිව පෙන්වා දිය හැකිය. එම වෙනස්කම් රැසකටම හේතූ වී ඇත්තේ ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍ය පාලකයා වු ධර්මාශෝක රජතුමා සමග දේවානම්පියතිස්ස රජතුමා පවත්වාගෙන ගිය සම්බන්ධතාවයයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යයේ පාලකයා වූ ධර්මාශෝක රජතුමා මොවුන් නොදුටු මිතුරන් ලෙසින් වංශකතාවල සඳහන් වේ. නමුත් තම දූතයන් මාර්ගයෙන් තෑගි බෝග හුවමාරු කර ගනිමින් එම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සාහිත්‍ය මුලාශ්‍රවලින්ද කරුණු රැසක් හෙලි කරයි. අශෝක අධිරාජ්‍යා, ධර්මාශෝක, චන්ඩාශෝක  ආදී විවිධ නම් වලින් හැදින් වූ බව මෙරට සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ. අශෝක අධිරාජ්‍යා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල කරවා ඇති ශිලා ලිපි රැසකින්ද මේ බව සනාථ වේ. “දේවානම්පිය අශෝක” දෙවියන්ට ප්‍රිය වූ අශෝක යනුවෙන් අශෝක ශිලා ලිපිවල සඳහන්ව තිබීමෙන් මෙරට සාහිත්‍ය මුලාශ්‍ර සත්‍ය වේ. මෞර්ය අධිරාජ්‍යාට දකුණින් පිහිටියා වූ එතුමා සමීප සම්බන්ධතාවයන් පැවැත්වු රටවල් පිළිබඳව මෙසේ සඳහන් කරයි. “චෝඩා පාඩා කේටල පුතෝ තම්බපණ්ණී” ආදී වශයෙනි. මෙහි තම්බපණ්ණිය ලෙස ශ්‍රි ලංකාව හදුනාගෙන ඇත. එසේ නම් තිස්ස රාජ්‍ය සමයේ ඉතා කිට්ටු සම්බන්දතාවයක් පැවති බව පැහැදිලිය. දෙරට අතර මෙම සම්බන්ධතාවය දේශපාලනික, ආර්ථික ආගමික, සංස්කෘතිකමය යන අංශයන්ගෙන් පෙන්නුම් කෙරෙයි. දේශපාලන අංශයෙහිලා එම සම්බන්ධය, අභිශේක මංගල්‍ය චාරිත්‍රද පාලන තන්ත්‍රයට විවිධ තනතුරු රැසක්හා මෞර්ය පාලන තන්ත්‍රය හදුන්වා දීමෙන් ද පැහැදිලි වේ.

මෞර්ය අධිරාජ්‍යත් ශ්‍රී ලංකාවත් අතර පැවති සම්බන්ධතාවය දූතයන් මගින් තෑගි බෝග හුවමාරු කරගනිමින් පවත්වාගෙන ගියහ එවැනි එක් අවස්ථාවක මහා වංශය සඳහන් කරන ආකාරයට අරිට්ඨ කුමාරයා ඇතුළු දූත පිරිසක් මෞර්ය අධිරාජ්‍ය වෙත ගොස් තිබේ. පාටලීපුත්‍ර නගරයට පැමිණි මෙම දූත පිරිසව අශෝක අධිරාජ්‍යා විසින් ගෞරවයෙන් පිළිගත් බව සඳහන් වේ. පසුව ශ්‍රි ලංකාවේ තතු විමසු අතර කාලයක් ඉන්දියාවේ නැවතී යන ලෙසද ආරාධනාවක් කර ඇත. එම ආරාධනාව පිළිගත් පිරිස මාස 6ක පමණ කාලයක් රැදි සිටි බව සඳහන් වේ. අරිට්ඨ ප්‍රමුඛ දූත කණ්ඩායම ඉන්දියාවේ නතරවී සිටි කාල වකවානුව තුළ දේශපාලනික වශයෙන් වැදගත් අත්දැකීම් රාශියක් ලබාගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. එක් අවස්ථාවක අරිට්ඨ කුමාරයා අමතා තිස්ස රජුගේ අභිශේකය සිදුවු ආකාරය විමසා තිබේ. එහිදි අරිට්ඨ කුමාරයා විසින් පවසා ඇත්තේ “අපේ රජු තම යෂ්ටියෙන් අභිශේක වුයේය” යන්නයි. එම ප්‍රකාශයෙන් අපේ රටේ පැවතියා වූ අභිශේක චාරිත්‍රය පිළිබඳව කරණු සනාථ වේ. එම චාරිත්‍රය ‍ක්ෂත්‍රිය ධර්මයට අනුකූල නොවන බව පෙන්වා දී ඇති ධර්මාශෝක රජතුමා එහිදී අරිට්ඨ දූතයා දැනුවත් කර නැවත ආපසු ශ්‍රී ලංකාවට ගිය පසු දෙවන වර අභිශේක මංගල්‍ය සඳහා රජු එකඟ කරවා ගෙන ක්ෂත්‍රිය චාරිත්‍ර ධර්ම අනුව අභිශේක මංගල්‍ය පවත්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලු භාණ්ඩ ලබා දුන් බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

එමෙන්ම දූත කණ්ඩායමට ඉන්දියාව තුළ රැදී වුන් කාලයේ දී අශෝක අධිරාජ්‍යා විසින් ඔවුන් හට ‍ගෞරව නාම පිළිගැන් වූ බවද සඳහන් වේ. එම ගෞරව නාම අතර පුරෝහිත, සේනානායක, දණ්ඩනායක, සෙට්ටිනායක ආදිය සඳහන් කළ හැකිය. මෙම ගෞරව නාම ඉන්දියානු පාලන ක්‍රමය තුළ දක්නට ලැබුනු තනතුරු නාම ලෙස සඳහන් කළ හැකිය. එම ගෞරව නාම තුළින් පැහැදිලි වන්නේ එකල පාලන තන්ත්‍රය දියුණු බවය. එසේම එම තනතුරු වලට අදාල කාර්ය භාරය පිළිබඳවද ඔවුන් දැනුවත් කර ඇත. පසුව ඔවුන් ලංකාවට පැමිණි පසු සියලු තතු අනාවරනය කලේය. ඒ අනුව තිස්ස රජු දියුණු මෞර්ය අධිරාජ්‍යයේ චාරිත්‍ර ධර්මයන් හා පාලන ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමට එකඟ වී තිබේ.දෙවනපිය යන විරුදාවලිය ද තම නමට එකතු කර ගනිමින් දේවානම්පියතිස්ස ලෙස දෙවන වරටද අභිශේක වී තිබේ. මෞර්ය රාජ්‍යයේ දියුණු පාලන තන්ත්‍රයට අනුව මෙරට පාලන තන්ත්‍රය ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම ආකාරයට මෞර්ය අධිරාජ්‍ය සමඟ පැවති සම්භන්ධතාව නිසා මෙරට පාලන තන්ත්‍රය තුළ ඓතිහාසික වශයෙන් විශාල වෙනස්කම් සිදුවූ අතර දෙරට අතර පැවති දේශපාලන ස්වරූපය මෙමගින් නිරුපණය වේ.

Saturday, June 14, 2014

පණ්ඩුකාභය රාජ්‍ය සමයේ වැදගත්කම



උන්මාද චිත්‍රා සහ දීඝ ගාමිණි යන දෙපලගේ පුත්‍රයා වූ පණ්ඩුකාභය කුමාරයා සිය මාමා වරුන්ට විරුද්ධව ගෙන ගිය සටන් ව්‍යාපාරයෙන් අනතුරුව එයින් ජය ලබා අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත් විය. ඔහු විසින් මහවැලි ගංගාවේ දකුණුදිග තැනිතලාවේ හා මහවැලි ගගේ උතුරු දිග තැනිතලාවේ තම බලය තහවුරු කරගැනීමෙන් පසු තම රාජධානිය වශයෙන් අනුරාධපුරය මූලස්ථානය කොටගෙන රාජ්‍යත්වයට පත්වී තිබේ. ඔහුගේ රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඓතිහාසික වශයනේ බෙහෙවින් වැදගත් කාල පරිච්ඡේදයක් ලෙසින් හදුනා ගත හැකි අතර එලෙස පණ්ඩුකාභය රාජය සමය ‍ඓතිහාසික වශයෙන් වැදගත් විමෙහිලා බලපැ හේතු සාදක ඇත. එනම්

  • ·       ආර්ය හා අනාර්ය ජන කොට්ඨාශ අතර සම්බන්ධතාවයට පදනම වැටීම.
  • ·   මහවැලි ගංගාවේ උතුරු ප්‍රදේශයේ හා දකුණු ප්‍රදේශයේ සැලකිය යුතු ප්‍රදේශයක බලය තහවුරු කරගත් පළමු පාලකයා වීම.
  • ·       අනුරාධපුර රාජධානියේ නිර්මාතෘ වරයා වීම.
  • ·       පළමු වතාවට විධිමත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීම.
  • ·       වාරි තාක්ෂණ කටයුතු ඇරඹිමේ පුරෝගාමියා වීම.
  • ·       විධිමත් ආගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම.



පණ්ඩුකාභය රාජ්‍ය සමය ඓතිහාසික වශයෙන් වැදලත් වීමෙහිලා බලපෑ ප්‍රධාන කරුණක් වශයෙන් ආර්ය හා අනාර්ය ජනකොට්ඨාශ අතර සම්බන්ධතාවයට මනා පදනමක් වැටීම සඳහන් කළ හැක. පණ්ඩුකාභය කුමාරයා ආර්ය ගෝත්‍රිකයෙක් උවද ඔහු හැදී වැඩුනේ සාමාන්‍ය ගැමි දරුවන් සමඟය. ඒ වගේම අනාර්ය ජනතාවගේ ආරක්ෂාව හා රැකවරණය යටතේ ඔහු හැදී වැඩුන බව පෙන්වා දෙයි. මහවැලි ගගේ දකුණු තැනිතලාවේ එකම ප්‍රබල නායකයා ලෙසට ඔහු නැගී ඒමේදී ආර්ය වංශිකයන්ගේද අනාර්ය වංශිකයන්ගේද පූර්ණ සහාය ඔහුට ලැබුන බව චිත්තරාජ කාලවේද ආදි යකුන් සම්බන්ධ ජනප්‍රවාදයන්ගෙන් හෙලිදරවු වේ. මෙලෙස සියලු ජනතාවගේ සහායෙන් උතුරුදිග තැනිතලාව කරා පැමිණෙන පණ්ඩුකාභය කුමාරයා සිය මාමා වරුන් හෙවත් උතුරු තැනිතලාවේ ආර්ය ජනපදවාසින් සිය නායකයා ලෙසට පණ්ඩුකාභය කුමාරයා පිළිගණුලබයි. ඒ අනුව පණ්ඩුකාභය කුමාරයා මෙරට රාජ්‍යත්වයට පත්වන්නේ ආර්ය හා අනාර්ය යන සියලු ජනතාවගේ සහයෝගය යටතේය. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ ඓතිහාසික වැදගත්කම කෙරෙහි බලපාන තවත් කරුණක් ලෙස ඔහු විසින් පළමු වතාවට මහවැලි ගංගාවේ උතුරුදිග තැනිතලාවෙත්, දකුණුදිග තැනිතලාවෙත් බලය තහවුරු කරගත් පළමු පාලකයා විම සඳහන් කල හැකිය. 

මීට පෙර බලයට පත් විජය, උපතිස්ස, පණ්ඩුවාසදේව ආදීන් පාලනය ගෙන ගියත් ඔවුන්ගේ බල ව්‍යප්තියේ සීමාවක් නිශ්චිතව සඳහන්කල හැකි නොවේ. එහෙත් පණ්ඩුකාභය මහවැලි ගගේ දකුණුදිග තැනිතලාවේ ආර්ය හා අනාර්ය ජනතාව පිළිගත් පොදු නායකයා බවට පත්වන අතර ඔහුගේ බලයට අභියෝග කල වෙනත් පාලකයකු සිටි බවට තොරතුරු හෙලි නොවේ. පණ්ඩුකාභය පසුව උතුරුදිග තැනිතලාව හරහා එම ප්‍රදේශවල බලය පිහිටුවාගෙන සිටි ජනපද නායකයින් විනාශ කොට සිය බලය තහවුරු කර ගැනිමට සමත් වී තිබේ. එබැවින් පණ්ඩුකාභයගේ බලය උතුරු තැනිතලාව තුළද ව්‍යාප්තවීමට අවස්ථාව උදාවිය. මෙලෙස මහවැලි ගංගාවේ උතුරුදිග තැනිතලාවෙත්, දකුණු තැනිතලාවේත් බලයක් ගොඩනගා ගත් පළමු පාලකයා ලෙසට පණ්ඩුකාභය හැදින්විය හැකිය.

පණ්ඩුකාභය රාජ්‍ය සමයේ ඓතිහාසික වැදගත්කම කෙරෙහි බලපෑ තවත් කරුණක් ලෙසට එතුමා අනුරාධපුර රාජධානියේ නිර්මාපකයා වීම සඳහන් කළ හැකිය. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ රජුගේ බලය මහවැලි ගංගාවේ උතුරුදිග හා දකුණුදිග තැනිතලාවල පැතිරීමත් සමඟ පාලන සංස්ථාවද ඊට අනුරූපව පුලුල් වීම අවශ්‍යව තිබුනි. ඒ බව අවබෝද කරගත් පණ්ඩුකාභය රජු සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් අනුරාධපුර ග්‍රාමය තෝරාගන්නා ලදී. එය අනුරාධපුරය ලෙසින් නම් කොට සිය පාලන මධ්‍යස්ථානය ලෙසට ගොඩනගන ලදී. නිමිති කරුවන් හා ගෘහ නිර්මාණ කරුවන් ගෙන්වා අනුර නැකතින් සිය රාජධානිය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. බටහිර දිසාවේ අභය වැව, සොහොන් බිම, වදකස්ථානය ආදිය නිර්මාණය කර ඇත. නගරය පිරිසිදු කරගැනීම සඳහා නගර ශෝදකයන් 500ක් ද වැසිකිළි ශෝදකයන් 22ක් ද මීනි ගෙන යන්නන් 190 ක් ද සකස් කල බව සඳහන් වේ. එම පිරිසගේ නිවාස නගරයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටා ඇත. උතුරු දිශාව වැද්දන් සඳහා වෙන්කර තිබුනි. මෙලෙස අනුරාධපුරය පාලන මධ්‍යස්ථානය වශයෙන් අඛණ්ඩ වසර 1500ක කාලයක් ක්‍රියාත්මකව පැවති බව පෙන්වා දිය හැකිය.

පණ්ඩුකාභය රාජ්‍ය සමයේ තවත් වැදගත් කරුණක් ලෙස විධිමත් රාජ්‍ය පාලන ක්‍රමයක් හදුන්වා දුන් ප්‍රථම පාලකයා ලෙස මෙතුමා හැදින්විය හැකිය. මීට පෙර විජය, උපතිස්ස, පණ්ඩුවාසදේව, වැනි පාලකයන් රජවරුන් ලෙස සඳහන් කර තිබුනද ඔවුන් විසින් අනුගමනය කල පාලන තන්ත්‍රයෙහි ස්වභාවය පිළිබදව පැදිලි තොරතුරු හමු නොවේ. එහෙත් පණ්ඩුකාභය බලයට පත්වීමේදී පැවැත්වු අභිශේක මංගල්‍යය පිළිබඳ තොරතුරු හෙලිදරවු වේ. තමා විසින් පරාජයට පත්වු සිය මාමාවරුන්ගේ සේසත් ගෙන්වාගෙන අනුරාධපුරයේ විලක ලා සෝදා එම විලේ ජලය ස්නානය කිරීමෙන් පණ්ඩුකාභය රජු ලෙසද, ස්වර්ණපාලි කුමරිය බිසව ලෙසටද අභිශේක වී තිබේ. එම අභිශේක මංගල්‍යය මෙරට පාලකයකු විසින් පවත්වන ලද ප්‍රථම අභිශේක මංගල්‍යය වශයෙන් පෙන්වා දිය හැකිය. එම අභිශේක මංගල්‍යයෙන් පසුව අනුරාධපුර පාලන තන්ත්‍රය තුළ විවිධ තනතුරු ඇතිකර ඒවාට නියම සුදුස්සන් තෝරා පත්කරගන්නා ලදී. තම පුරෝහිත තනතුර සඳහා චන්ද්‍ර බමුණා පත් කොට ඇති අතර ගිරිඛණ්ඩශිව ඔහුගේ මලනුවකු වු අතර ඔහුටද ප්‍රාදේශිය පාලන කුටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇත. බලයට පත්වී වසර 10 ඉක්ම යත්ම සිය බලය පිරිහුනු ප්‍රදේශවල ග්‍රාම සීමා වෙන් කොට ගම්සභා ක්‍රමයක් පාලන තන්ත්‍රය තුළ ඇති කල ප්‍රථම පාලකයා වශයෙන් පණ්ඩුකාභය රජතුමා පෙන්වාදිය හැකිය. මෙලෙස පණ්ඩුකාභය රජතුමා විසින් පළමු වතාවට විධිමත් පාලන තන්ත්‍රයක් හදුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීමද මෙම රාජ්‍ය සමයේ වැදගත් කමට තවත් හේතුවක් වී තිබේ.

පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි ඓතිහාසික වශයෙන් වැදගත් වීමට බලපෑ තවත් හේතුවක් ලෙස එතුමා මෙරට ජල සම්පාදන ව්‍යාපාරය ඇරඹීමෙහිලා පුරෝගාමි පාලකයා වීමද පෙන්වා දිය හැකිය.  වියලි කලාපයේ තැනිතලා භූමි ප්‍රදේශ තුළ අවශ්‍ය අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගැනීමට ජලය එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවයක් එකළ පැන නැගී තිබුණි. ඒ බව අවබෝධ කරගත් අනුරාධපුර පාලකයා විසින් වාරිමාර්ග කිහිපයක්ම ඇති කළ බව ඉතිහාස කරුණු හෙළිකරයි.
පණ්ඩුකාභය රජු මෙරට සිදුකල ආගමික සේවාවද මෙම රාජ්‍ය සමය ඓතිහාසික වශයෙන් වැදගත් කමක් ගෙන ඒමට සමත් විය. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ  මෙරට ජනතාව අතර ප්‍රකටව පැවතියා වු ආගම් රැසක් පිළිබඳව වංශකතාවල සඳහන් වේ. එම සෑම ආගමක් සඳහාම පණ්ඩුකාභය රජතුමාගේ පුර්ණ අනුග්‍රහය ලැබුණ බව පෙන්වා දිය හැකිය.

පණ්ඩුකාභය රාජ්‍ය සමය



අනුරාධපුර රජධානියේ මුල්ම පාලකයා වශයෙන් පණ්ඩුකාභය රජතුමා පත්වීමට ඒසඳහා කරන ලද සටන් ව්‍යාපාර ගණනාවක් පිළිබඳව මහා වංශයේ දැක්වේ. ඒ අනුව බලන විට දීඝ ගාමිණි හා උන්මාද චිත්‍රාගේ පුතෙකු වශයෙන් සැලකෙන පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ රාජ්‍යය පාලකයා බවට පත්වීම පිළිබඳ නොකැමති වූ තම මාමා වරුන් මොහුව මැරවීමට නොයෙක් අවස්ථාවල උත්සහ ගත් බව වංශ කථා වල සඳහන් වේ. මෙම සෑම අවස්ථාවකදීම විරුද්ධත්වයන්  බිද දමමින් තමන්ගේ රාජ්‍යත්වය ලබාගැනීමට උද්යෝගයෙන් රාජ්‍ය පාලනය කළ පාලකයෙන් වශයෙන් පෙන්වා දිය හැක. මේ හා බැඳුන සිද්ධීන් අත්භූත ජනක උවත් එහි ‍‍‍‍ඓතිහාසික වටිනාකමක් ඇති බව පිළිගත හැකිය. මහා වංශයේ සඳහන් වන පරිදි පණ්ඩුකාභය රජතුමා තම පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගනු ලැබුවේ අනුරාධපුරයයි. ඒ අනුව මෙතුමා මුල්ම අනුරාධපුරය “ග්‍රාම” තත්වයෙන් මුදවාගත් බවත් ප්‍රථම වරට ග්‍රාම සීමා පිහිටවු රජු වශයෙන් ඉතිහාසයට එක් වේ.

ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ රාජ්‍යය නාමාවලිය.



·       විජය
·       උපතිස්ස
·       පණ්ඩුවාසදේව
·       අභය
·       පණ්ඩුකාභය
·       මුටසිව
·       දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210)
·       උපතිස්ස
·       මහාසිව
·       සුරතිස්ස
·       සේනගුත්තික
·       අසේල
·       එලාර
·       දුටුගැමුණූ (ක්‍රි.පූ.161-137)
·       සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119)
·       ඵුලත්තන (ක්‍රි.පූ. 199)
·       ලජ්ජතිස්ස (ක්‍රි.පූ.199-109)
·       වල්ලාටනාග (ක්‍රි.පූ.109-103)
·       වට්ඨගාමිණි අභය (ක්‍රි.පූ. 109-103)
·       ඵුලහත්ති
·       බාහිය
·       පනයමාර (ක්‍රි.පූ. 103-89)
·       පිලයමාන
·       දාඨික
·       වට්ඨගාමිණී
·       මහා චූලතිස්ස (ක්‍රි.පූ. 77-63)
·       චෝරනාග (ක්‍රි.පූ.51-48)
·       තිස්ස
·       සිව
·       වටුක
·       දාරුහාටික තිස්ස
·       නීලියා
·       අනුලා බිසව (ක්‍රි.පූ. 48-44)
·       කූටකණ්ණතිස්ස (ක්‍රි.පූ. 44-42)
·       භාතික අභය (ක්‍රි.පූ.22-ක්‍රි.ව.7)
·       මහා ධාඨික මහානාග (ක්‍රි.ව. 07-19)
·       ආමණ්ඩ ගාමිණී අභය (ක්‍රි.ව. 19-29)
·       කනිරජානු තිස්ස (ක්‍රි.ව.29-32)
·       චූලාභය (ක්‍රි.ව.32-33)
·       සීවලී භිසව (ක්‍රි.ව. 33)
·       ඉළනාග (ක්‍රි.ව.33-43)
·       චන්ඩ මුඛසිව (ක්‍රි.ව.43-52)
·       යසලාලක තිස්ස (ක්‍රි.ව.52-60)
·       සුභ (ක්‍රි.ව.60-67)
·       වසභ(ක්‍රි.ව.67-111)
·       වංකනාතික තිස්ස (ක්‍රි.ව. 111-114)
·       ගම්බාහුක ගාමිණී (ක්‍රි.ව. 114-136)
·       මහල්ලක නාග (ක්‍රි.ව. 136 -143)
·       භාතික තිස්ස (ක්‍රි.ව. 143-167)
·       කණිට්ඨතිස්ස (ක්‍රි.ව. 167-186)
·       බුජනාග (ක්‍රි.ව. 186-187)
·       කුඤ්චනාග (ක්‍රි.ව. 187-189)
·       I සිරිනාග (ක්‍රි.ව. 189-209)
·       වොහාරික තිස්ස (ක්‍රි.ව. 209-231)
·       අභයනාග (ක්‍රි.ව. 231-240)
·       ii සිරිනාග (ක්‍රි.ව.240-242)
·       විජය -කුමාර (ක්‍රි.ව. 242-243)
·       i සංඝතිස්ස (ක්‍රි.ව. 243-247)
·       සිරිසංඝබෝධි (ක්‍රි.ව. 247-249)
·       ගෝඨාභය හෙවත් මේඝවර්ණ අභය (ක්‍රි.ව.249-262)
·       ii ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 328-337)
·       බුද්ධදාස (ක්‍රි.ව. 337-365)
·       I උපතිස්ස (ක්‍රි.ව. 365-406)
·       මහානාම
·       ඡත්තගාහක ජන්තු (ක්‍රි.ව. 428)
·       මිත්තසේන
·       පණ්ඩු (ක්‍රි.ව.429-434)
·       පාරින්ද (ක්‍රි.ව.434-437)
·       බුද්ධ පාරින්ද (ක්‍රි.ව. 437-452)
·       තිරිතර (ක්‍රි.ව. 452)
·       දාඨිය (ක්‍රි.ව. 452-455)
·       ධාතුසේන (ක්‍රි.ව.455-473)
·       I කස්සප (ක්‍රි.ව. 473-491)
·       I මොග්ගල්ලාන (ක්‍රි.ව.491-508)
·       කුමාරධාතුසේන (ක්‍රි.ව.508-516)
·       සිව (ක්‍රි.ව.517)
·       සීලකාල, අම්බසාමණේර (ක්‍රි.ව.518-531)
·       දාඨප්පභූති (ක්‍රි.ව. 531)
·       ii මොග්ගල්ලාන (ක්‍රි.ව.531-555)
·       කිත්සිරි මේඝ (ක්‍රි.ව.551-569)
·       මහා නාග (ක්‍රි.ව.569-571)
·       අග්ගබෝධී (ක්‍රි.ව.571-604)
·       ii අග්ගබෝධි (ක්‍රි.ව.604-614)
·       ii සංඝතිස්ස (ක්‍රි.ව.614)
·       iiiමොග්ගල්ලාන (ක්‍රි.ව.614-619)
·       සාලා මේඝවර්ණ (ක්‍රි.ව.619-628)
·       iii අග්ගබෝධි (ක්‍රි.ව.628)
·       iii‍ ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 628)
·       iii අග්ගබෝධි (ක්‍රි.ව. 628)
·       I දාඨෝපතිස්ස (ක්‍රි.ව.639-650)
·       I කස්සප (ක්‍රි.ව. 650-659)
·       I දප්පුල (ක්‍රි.ව. 659)
·       හත්ථදාඨ (ක්‍රි.ව. 659-667)
·       iv අග්ගබෝධි (ක්‍රි.ව. 667-663)
·       දත්ත (ක්‍රි.ව.683-684)
·       ii හත්ථදාඨ (ක්‍රි.ව. 684)
·       මානවම්ම (ක්‍රි.ව. 684-718)
·       v අග්ගබෝධි (ක්‍රි.ව.718-724)
·       iii කස්සප (ක්‍රි.ව.724-730)
·       I මහින්ද (ක්‍රි.ව. 730-733)
·       vi අග්ගබෝධි (ක්‍රි.ව.733-772)
·       vii අග්ගබෝධි (ක්‍රි.ව. 772-777)
·       ii මහින්ද, සිලාමේඝ (ක්‍රි.ව. 777-797)
·       ii උදය (ක්‍රි.ව.797-801)
·       iii මහින්ද (ක්‍රි.ව. 801-804)
·       viii අග්ගබෝධී (ක්‍රි.ව. 804-815)
·       ii දප්පපුල (ක්‍රි.ව.815-831)
·       ix අග්ගබෝධි (ක්‍රි.ව. 831-833)
·       I සේන (ක්‍රි.ව. 833-853)
·       ii උදය (ක්‍රි.ව.887-898)
·       iv කස්සප (ක්‍රි.ව.898-914)
·       v කස්සප (ක්‍රි.ව.914-923)
·       iii දප්පුල (ක්‍රි.ව.923-924)
·       iv දප්පුල (ක්‍රි.ව.924-935)
·       iii උදය (ක්‍රි.ව.935-938)
·       iii සේන (ක්‍රි.ව.938-946)
·       iv උදය (ක්‍රි.ව.946-954)
·       iv සේන (ක්‍රි.ව.954-956)
·       iv මනින්ද (ක්‍රි.ව.956-972)
·       iv සේන (ක්‍රි.ව.972-982)
·       v මහින්ද (ක්‍රි.ව.982-1029)
·       vi කස්සප (ක්‍රි.ව.1029-1040)
·       මහාලාන - කිත්ති (ක්‍රි.ව.1040-1042)
·       වික්‍රම - පණ්ඩු (ක්‍රි.ව.1042-1043)
·       ජගතිපාල (ක්‍රි.ව.1043-1046)
·       පරාක්‍රම පණ්ඩු (ක්‍රි.ව.1046-1048)
·       ලෝක (ක්‍රි.ව.1048-1054)
vii කස්සප (ක්‍රි.ව. 1054-1055)