Monday, June 16, 2014

දේවානම් පියතිස්ස රාජ්‍ය සමය (ක්‍රි .පූ. 230 – 210)



දේවානම්පියතිස්ස රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඓතිහාසික වශයෙන් වැදගත් කාල පරිච්ජේදයක් ලෙසින් හැදින්විය හැකිය. එතුමාගේ රාජ්‍ය සමය දේශපාලනික, ආර්ථික ආගමික, සංස්කෘතික ආදී සෑම අංශයකින්ම ප්‍රබල වෙනස්කම් සිදුවු කාලපරිච්ජේදයක් ලෙසට පෙන්වා දිය හැකි අතර එම වෙනස් වීම් පසුකාලීන ඉතිහාසය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන්නට ඉවහල් වූ බව පැහැදිලිව පෙන්වා දිය හැකිය. එම වෙනස්කම් රැසකටම හේතූ වී ඇත්තේ ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍ය පාලකයා වු ධර්මාශෝක රජතුමා සමග දේවානම්පියතිස්ස රජතුමා පවත්වාගෙන ගිය සම්බන්ධතාවයයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යයේ පාලකයා වූ ධර්මාශෝක රජතුමා මොවුන් නොදුටු මිතුරන් ලෙසින් වංශකතාවල සඳහන් වේ. නමුත් තම දූතයන් මාර්ගයෙන් තෑගි බෝග හුවමාරු කර ගනිමින් එම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සාහිත්‍ය මුලාශ්‍රවලින්ද කරුණු රැසක් හෙලි කරයි. අශෝක අධිරාජ්‍යා, ධර්මාශෝක, චන්ඩාශෝක  ආදී විවිධ නම් වලින් හැදින් වූ බව මෙරට සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී තිබේ. අශෝක අධිරාජ්‍යා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල කරවා ඇති ශිලා ලිපි රැසකින්ද මේ බව සනාථ වේ. “දේවානම්පිය අශෝක” දෙවියන්ට ප්‍රිය වූ අශෝක යනුවෙන් අශෝක ශිලා ලිපිවල සඳහන්ව තිබීමෙන් මෙරට සාහිත්‍ය මුලාශ්‍ර සත්‍ය වේ. මෞර්ය අධිරාජ්‍යාට දකුණින් පිහිටියා වූ එතුමා සමීප සම්බන්ධතාවයන් පැවැත්වු රටවල් පිළිබඳව මෙසේ සඳහන් කරයි. “චෝඩා පාඩා කේටල පුතෝ තම්බපණ්ණී” ආදී වශයෙනි. මෙහි තම්බපණ්ණිය ලෙස ශ්‍රි ලංකාව හදුනාගෙන ඇත. එසේ නම් තිස්ස රාජ්‍ය සමයේ ඉතා කිට්ටු සම්බන්දතාවයක් පැවති බව පැහැදිලිය. දෙරට අතර මෙම සම්බන්ධතාවය දේශපාලනික, ආර්ථික ආගමික, සංස්කෘතිකමය යන අංශයන්ගෙන් පෙන්නුම් කෙරෙයි. දේශපාලන අංශයෙහිලා එම සම්බන්ධය, අභිශේක මංගල්‍ය චාරිත්‍රද පාලන තන්ත්‍රයට විවිධ තනතුරු රැසක්හා මෞර්ය පාලන තන්ත්‍රය හදුන්වා දීමෙන් ද පැහැදිලි වේ.

මෞර්ය අධිරාජ්‍යත් ශ්‍රී ලංකාවත් අතර පැවති සම්බන්ධතාවය දූතයන් මගින් තෑගි බෝග හුවමාරු කරගනිමින් පවත්වාගෙන ගියහ එවැනි එක් අවස්ථාවක මහා වංශය සඳහන් කරන ආකාරයට අරිට්ඨ කුමාරයා ඇතුළු දූත පිරිසක් මෞර්ය අධිරාජ්‍ය වෙත ගොස් තිබේ. පාටලීපුත්‍ර නගරයට පැමිණි මෙම දූත පිරිසව අශෝක අධිරාජ්‍යා විසින් ගෞරවයෙන් පිළිගත් බව සඳහන් වේ. පසුව ශ්‍රි ලංකාවේ තතු විමසු අතර කාලයක් ඉන්දියාවේ නැවතී යන ලෙසද ආරාධනාවක් කර ඇත. එම ආරාධනාව පිළිගත් පිරිස මාස 6ක පමණ කාලයක් රැදි සිටි බව සඳහන් වේ. අරිට්ඨ ප්‍රමුඛ දූත කණ්ඩායම ඉන්දියාවේ නතරවී සිටි කාල වකවානුව තුළ දේශපාලනික වශයෙන් වැදගත් අත්දැකීම් රාශියක් ලබාගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. එක් අවස්ථාවක අරිට්ඨ කුමාරයා අමතා තිස්ස රජුගේ අභිශේකය සිදුවු ආකාරය විමසා තිබේ. එහිදි අරිට්ඨ කුමාරයා විසින් පවසා ඇත්තේ “අපේ රජු තම යෂ්ටියෙන් අභිශේක වුයේය” යන්නයි. එම ප්‍රකාශයෙන් අපේ රටේ පැවතියා වූ අභිශේක චාරිත්‍රය පිළිබඳව කරණු සනාථ වේ. එම චාරිත්‍රය ‍ක්ෂත්‍රිය ධර්මයට අනුකූල නොවන බව පෙන්වා දී ඇති ධර්මාශෝක රජතුමා එහිදී අරිට්ඨ දූතයා දැනුවත් කර නැවත ආපසු ශ්‍රී ලංකාවට ගිය පසු දෙවන වර අභිශේක මංගල්‍ය සඳහා රජු එකඟ කරවා ගෙන ක්ෂත්‍රිය චාරිත්‍ර ධර්ම අනුව අභිශේක මංගල්‍ය පවත්වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලු භාණ්ඩ ලබා දුන් බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

එමෙන්ම දූත කණ්ඩායමට ඉන්දියාව තුළ රැදී වුන් කාලයේ දී අශෝක අධිරාජ්‍යා විසින් ඔවුන් හට ‍ගෞරව නාම පිළිගැන් වූ බවද සඳහන් වේ. එම ගෞරව නාම අතර පුරෝහිත, සේනානායක, දණ්ඩනායක, සෙට්ටිනායක ආදිය සඳහන් කළ හැකිය. මෙම ගෞරව නාම ඉන්දියානු පාලන ක්‍රමය තුළ දක්නට ලැබුනු තනතුරු නාම ලෙස සඳහන් කළ හැකිය. එම ගෞරව නාම තුළින් පැහැදිලි වන්නේ එකල පාලන තන්ත්‍රය දියුණු බවය. එසේම එම තනතුරු වලට අදාල කාර්ය භාරය පිළිබඳවද ඔවුන් දැනුවත් කර ඇත. පසුව ඔවුන් ලංකාවට පැමිණි පසු සියලු තතු අනාවරනය කලේය. ඒ අනුව තිස්ස රජු දියුණු මෞර්ය අධිරාජ්‍යයේ චාරිත්‍ර ධර්මයන් හා පාලන ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමට එකඟ වී තිබේ.දෙවනපිය යන විරුදාවලිය ද තම නමට එකතු කර ගනිමින් දේවානම්පියතිස්ස ලෙස දෙවන වරටද අභිශේක වී තිබේ. මෞර්ය රාජ්‍යයේ දියුණු පාලන තන්ත්‍රයට අනුව මෙරට පාලන තන්ත්‍රය ප්‍රතිසංස්කරණය කර තිබේ. මෙම ආකාරයට මෞර්ය අධිරාජ්‍ය සමඟ පැවති සම්භන්ධතාව නිසා මෙරට පාලන තන්ත්‍රය තුළ ඓතිහාසික වශයෙන් විශාල වෙනස්කම් සිදුවූ අතර දෙරට අතර පැවති දේශපාලන ස්වරූපය මෙමගින් නිරුපණය වේ.

1 comment: